සමුදුර සරසන අපූරු යාළුවෝ

clown-and-seaflo

තැඹිලි පාට ක්ලවුන් ෆිෂ්

මහ සයුරේ මත්ස්‍ය ලෝකය හරිම සුන්දරයි. මේ අතරින් ක්ලවුන් ෆිෂ් කියන මාළුවා හරිම විශේෂයි. ඒකට එක හේතුවක් තමයි උන්ට තියෙන සිත්ගන්නාසුලු පාට. ඒ වගේම ඌ නිවහන හැටියට විස අඬු තියෙන මුහුදු මල් තෝරාගෙන තියෙන එකත් පුදුමාකාර දෙයක්.

ක්ලවුන් ෆිෂ්ගේ පින්තූර ගන්න නම් එච්චර අමාරු නැහැ. පින්තූරයක් ගද්දී ඌ නළුවෙක් වගේ ලස්සනට එක තැනකට වෙලා ඉන්නවා. ඒ වගේම උන් මුහුදු මල් අසලම ගැවසෙමින් ඉන්න නිසා කිමිදුම්කරුවන්ට කිසි කරදරයක් නැතුව උන් ළඟටම ගිහින් පින්තූර ගන්න පුළුවන්.

විස අඬු තියෙන මුහුදු මල් අතරේ ජීවත් වෙන එක හරියට නයි ගුලක ජීවත් වෙනවා වගේ දෙයක්. ඒත් මුහුදු මලත් ක්ලවුන් ෆිෂ් අතරත් තියෙන්නේ වෙන් කළ නොහැකි බැඳීමක්.

clown

ක්ලවුන් ෆිෂ් සහ මුහුදු මල් අතර තියෙන්නේ බිඳිය නොහැකි බැඳීමක්. ඒ බැඳීම නිසයි දෙන්නාගෙම දිවි රැකෙන්නේ. ක්ලවුන් ෆිෂ් මාළුවා පීනන්න එතරම් දක්ෂ නැති නිසා උන්ගේ ජීවිතයට අනතුරක් වෙන දේවල්වලින් ඌ ආරක්ෂා වෙන්නේ මුහුදු මලේ උදව්වෙන්. සාගර විද්‍යාඥයන් කියන විදිහට මුහුදු මල් නැත්නම් ක්ලවුන් ෆිෂ්ට ජීවිතයකුත් නැහැ. මුහුදු මල් නිවහන හැටියට තෝරාගෙන තියෙන නිසා ඉන් ලැබෙන ආරක්ෂාවෙන් මේ මාළුන්ට අවුරුදු දහයක් විතර ජීවත් වෙන්න පුළුවන්.

ක්ලවුන් ෆිෂ් බිත්තර දාන්නේ මුහුදු මල් යටයි. ඒක ඒ බිත්තරවලට ආරක්ෂාවක්. ඒ නිසා මාළුවාව විතරක් නෙමෙයි උන්ගේ දරු පරපුරත් රැක දෙන්නේ මුහුදු මල්ම තමයි. ඊට අමතරව මාළු අම්මායි තාත්තායි දෙන්නාම මේ බිත්තර රැකගන්න වෙහෙසෙනවා. පැටව් එළියට ආවාට පස්සේ මුළු පවුලම ඒ මුහුදු මල අසලම පීනමින් ඉන්න විදිහ හරිම අපූරුයි.

              මුහුදු මල් ආහාරයට ගන්න බටෆ්ලයි ෆිෂ් වගේ මාළුන්ගෙන් මුහුදු මල් ආරක්ෂා වෙන්නේ ක්ලවුන් ෆිෂ් නිසයි. මේ මාළුවා හරියට මුහුදු මලේ ආරක්ෂකයා වගේ. ක්ලවුන් ෆිෂ් නැත්නම් සම්පූර්ණයෙන්ම නැති වෙලා යන මුහුදු මල් විශේෂයක්ද දැනට හොයාගෙන තියෙනවා. මේ බැඳීමේ වටිනාකම තේරුම්ගන්න, පර්යේෂකයන් ක්ලවුන් ෆිෂ් මාළුවෙක්ව ඌ නවාතැන් ගන්න මුහුදු මලෙන් ඈත් කෙරුවා. ඒ මුහුදු මල බටෆ්ලයි ෆිෂ්ගේ රස බොජුනක් වෙන්න පැය 24ක්වත් ගියේ නැහැ.

ක්ලවුන් ෆිෂ් නිසා මුහුදු මලට අවශ්‍ය පෝෂණයත් ලැබෙනවා. ඌ පහ කරන ඇමෝනියම් මුහුදු මල්වල වර්ධනයට උදව්වක්. ඒ වගේම ඌ ඒ මල අවට පීනද්දී ජලය කැළතෙන නිසා අපිරිසිදු ජලය අයින් වෙලා ඔක්සිජන් තියෙන පිරිසිදු ජලය මුහුදු මලට ලැබෙනවා.

clown2

ක්ලවුන් ෆිෂ්ට මුහුදු මලේ විසෙන් කිසිම හානියක් වෙන්නේ නැත්තේ උගේ ඇඟේ තියෙන විශේෂ ආවරණයක් නිසයි. ඒ ආවරණය නිසා මුහුදු මල හිතන්නේ ක්ලවුන් ෆිෂ් උගේම පවුලේ කෙනෙක් කියලයි. ඒ ගැන සාගර විද්‍යාඥයෙක් කිව්වේ මෙහෙමයි. ක්ලවුන් ෆිෂ් කියන්නේ “මුහුදු මලක වෙස් අරන් ඉන්න මාළුවෙක්.”

ක්ලවුන් ෆිෂ්ට අලුත් නවාතැනකට මාරු වෙන එක ලේසි දෙයක් නෙමෙයි කියලා අධ්‍යයනවලින් හොයාගෙන තියෙනවා. මොකද අලුත් මුහුදු මලේ විසට ඔරොත්තු දෙන විදිහට ඇඟේ පිටත ආවරණය සකස් කරගන්න ඌට සිද්ධ වෙනවා. ඒකට ඌ පැය කිහිපයක් පුරා සැරින් සැරේ ඇවිත් මුහුදු මලේ අඬුවල ගෑවෙනවා. මුලදී මේ විස උගේ ඇඟේ වදිද්දී වේදනාවක් දැනුණත් පස්සේ අලුත් විසට ඔරොත්තු දෙන විදිහට උගේ පිටත ආවරණය සකස් වෙනවා. ඊටපස්සේ දෙන්නා සහයෝගයෙන් ජීවත් වෙනවා.

සහයෝගයෙන් වැඩ කිරීම සම්බන්ධයෙන් මේ දෙන්නා මොන තරම් හොඳ ආදර්ශයක්ද! අද ලෝකයේ වෙනස් පසුබිම්වල අය සහයෝගයෙන් වැඩ කරලා හොඳ ප්‍රතිඵල අත් කරගෙන තියෙනවා. ක්ලවුන් ෆිෂ් වගේ අපිත් අනිත් අය එක්ක සහයෝගයෙන් වැඩ කරන්න අවශ්‍ය වෙනස්කම් කරමු. මුලදි අමාරු වුණත් ඒකෙන් ලැබෙන ප්‍රයෝජන කියලා නිම කරන්න බැරි තරම්.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s